Saturday, July 14, 2018


තොරතුරු  ආරක්ෂණය සහ කළු කුහර වල කාලගුණිකතත්වය
කාලයෙන් කාලයට විශ්වය පිලිබඳ එක එක අදහස් සමාජයට එනවා. ඒ අදහස් න්‍යායන් බවට පත් වෙලා මිනිස්සුන්ගේ දැනුම හා තාක්ෂණය වර්ධනය කරනවා. එත් ටික කාලෙකින් ඒ අදහස් වැරදියි කියලා අපිට තේරෙනවා. එත් ඒවගෙන් ගත්තු තාක්ෂණය අපිත් එක්ක ඉස්සරහට යනවා. මිනිසාගේ තාක්ෂණික දියුණුව මේ සිද්ධාන්ත මත සිදු වූ දෙයක් කියල කියන්න අමුතුවෙන් තර්ක ගෙන්න ඕනේ නෑ. මම මේ වාර්තාව ලියන්නේ ඒ වගේ අලුත් සිද්ධාන්තයක් මුල් කරගෙනයි, මෙය කාලයක් තිස්සේ විද්‍යාඥයින් අතර තිබුණු මතයක් වුනත් එය එතරම් සමාජයේ කතාබහට ආවේ නෑ. විද්‍යාවේ තිබෙන සියලුම සිද්ධාන්ත සහ නියමයන් එක ම නියමයකින් ඉදිරිපත් කිරීමට කාලෙක ඉඳන් අයින්ස්ටයින්, හොව්කින්ස් වැනි විද්‍යාඥයින් විසින් උත්සහ කරා සහ කරමින් සිටිනවා. එමඟින් සියල්ල එක කිරීමේ න්‍යාය (Grand Unified Theory), සාපේක්ෂතාවාදය(Theory of relativity), ක්වොන්ටම් විද්‍යාව, ක්වොන්ටම් ගුරුත්වය(quantum gravity)  ආදිය සමාජ ගත වුණා. කාලෙන් කාලෙට ආපු මේ න්‍යායන් අතරින් වර්තමානයේ වැඩිපුරම කතා බහට ලක්වෙන්නේ තොරතුරු ආරක්ෂණය(information preservation) පිළිබඳ න්‍යායයි. එක්දහස් නමසිය හැත්තෑව දශකයේ මුල්භාගයේ වර්තමානයේ ලෝකයේ සිටින මහා ප්‍රඥයා වන ස්ටීවන් හොව්කින් විසින් කළු කුහරයන් පිළිබඳ මතයක් ඉදිරිපත් කළා. ඊට අවුරුදු හතළිහකට පස්සේ ඔහු විසින්ම කළු කුහරයෙන්ගේ පැවැත්ම පිළිබඳ ඔහු ඉදිරිපත් කල මතයම වෙනස් කළා. එය තාරකා භෞතීක විද්‍යාව තුළ විපලවීය වෙනස්කම් රැසක් කරයි කියල මං විශවාස කරනවා.
විශ්වය වචනය ඉතාමත් ලස්සනයි ඒ වගේම පොඩියි. එත් එහි අර්ථය ගැඹුරුයි ඒ වගේම ප්‍රමානය විශාලයි. මේ විශාල විශ්වය තුළ සිතාගැනීමට අපහසු ක්‍රියාදාමයන් රැසක් සිද්ධ වෙනවා. විශ්වයේ බලය පතුරුවා ගත්තු ප්‍රධානියන් කිහිප දෙනෙක් ඉන්නවා. කළු කුහර කියල කියන්නේ ඒවගෙන් එක්කෙනෙක්. ඉතා විශාල තරුවක් වුනත් කුඩා ඇහැට නොපෙනෙන පරමාණු විදියට කඩාගන්න මේ කළු කුහර වලට පුළුවන්. එක නිසා විශ්වයේ ගණන් කාරයා කියලා මේවට කියනවා. ඒ වගේම තමයි විශ්වය මකා දැමීමේ හැකියාවක්ද කළු කුහර වලට තියෙනවා. තරු වල පරිණාමය අධ්‍යනය කළ කෙනෙක්ට කළු කුහරයක් සෑදෙන්නේ කෙසේද කියල තේරුම් ගන්න පුළුවන්. මං ඒ ගැන වැඩිපුර කතා කරන්න යන්නේ නෑ. එත් ඉතා කුඩා ප්‍රදේශයක් තුල ඉතා විශාල ස්කන්ධයක් තියෙන නිසා කළු කුහරයක මාධ්‍යය තුළ ගුරුත්වය අනන්ත අගයක් ගන්නවා. කළු කුහරයක් ළඟට එන ඕනෑම දෙයක් මුලික පදාර්ථයන් බවට කඩා ගන්න හැකියාවක් කළු කුහරයකට  තියෙනවා. ඒක නිසාම ආලෝකයට පවා කළු කුහරයක ගුරුත්වාකර්ෂණයෙන් බේරිලා එලියට එන්න බෑ. එත් කළු කුහරයක සීමා ක්ෂිතිජය(event horizon) ආසන්නයේදී සමහර ආලෝක කිරණ ආලෝකයේ ප්‍රවේගයෙන් එය වටේට කැරකෙමින් තියෙනවා. මෙම කිරණ පවා කිසි දිනක ඉන් මිදී යන්නේ නෑ.  හොව්කින්ගේ, කාලයේ කෙටි ඉතිහාසය (The brief history of time) නම් පොතේ මේ පිළිබඳව ලස්සනට විස්තර කරලා තියෙනවා. පොඩ්ඩක් හිතන්න ඔයා විශාල දිය ඇල්ලක උඩ ඉන්නවා කියල. කවුරු හරි ඔයාව තල්ලු කරනවා වතුරට. කොච්චර හොඳට ඔයාට පීනන්න පුළුවන් උනත් ඔයා ටිකෙන් ටික දිය ඇල්ලත් එක්ක පල්ලෙහට වැටෙනවා. ඒ වගේම තමයි කළු කුහරයක ආසන්නයේදී වස්තු වලට වෙන්නෙත්. එක නිසා කවදාවත් අපිට කළු කුහරයක ඇතුලේ සිද්ධ වෙන දේවල් ගැන හොයාගන්න හම්බෙන්නේ නෑ. එත් එකේ සීමා ක්ෂිතිජයේ සිද්ධ වෙන දේවල් ගැන පරික්ෂණාත්මක නිගමන සහ න්‍යායානුකුල අදහස් කිහිපයක් තියෙනවා. ඉන් එකක් තමයි කළු කුහරයක සීමා ක්ෂිතිජයේ සිදුවෙන විකිරණය. උදාහරණයක් විදියට ගත්තොත් වතුර භාජනයක් රත් කරනකොට එකේ වතුර වාෂ්ප වෙලා යනවා වගේ මේ සීමා ක්ෂිතිජයේ සිද්ද වෙන විකිරණය නිසා කළු කුහරත් ටිකෙන් ටික ක්ෂය වෙනවා. මේ විකිරණ ක්‍රියාවලියට හොව්කින් විකිරණය කියල හඳුන්වනවා. ඉතා සෙමින් සිදුවෙන ක්‍රියාවලියක් ලෙස මෙම විකිරණය හඳුන්වන අතර අපගේ සූර්යා ප්‍රමාණයේ කළු කුහරයක ස්කන්ධයෙන් 0.0000001%ක් නැති වීම සඳහා වසර 1054 ක පමණ කාලයක් යනවා. ඒ කාලය ඉවර වෙනකොට විශ්වයේ අවසාන තරුවත් මිය ගිහිං ඉවරයි. මෙසේ විකිරණය වෙමින් ගොස් කිසියම් දිනක කළු කුහරය සම්පුර්ණයෙන්ම නැති වි යනවා. එවිට එහි සැඟවී තිබුණු තොරතුරු, ඒ කියන්නේ කළු කුහරයට ඇදගෙන මුලික පරමාණු බවට පත් කරගෙන තිබුණු දේවල් වල තොරතුරු සම්පුර්ණයෙන්ම විශ්වයෙන් අතුරුදහන් වෙනවා. අන්න ඒක නිසයි මං කලින් කළු කුහර විසින් විශ්වය මකලා දානවා කියල කිව්වේ.

තොරතුරු ... මොනාද මේ තොරතුරැ කියන්නේ?

අපිට දේවල් ගැන කියන්න පුළුවන් වෙන්නේ අපේ සංවේදී ඉන්ද්‍රියන් පාවිච්චි කරලා. රූප වලින්, සද්ද වලින්, ගඳ සුවඳෙන් , රසෙන් ඒ වගේම තමයි ඒවා වල ස්පර්ශයෙන්. එත් මේ තොරතුරු කියන්නේ ඒ වගේ දෙයක් නෙමෙයි. තොරතුරු කියල අපි මෙතැනදී අදහස් කරන්නේ, තේරුම් ගන්න ඕන දෙයක්. තොරතුරු විවිධාකාරයෙන් තියෙනවා එත් ඒවා වලින් මෙම ලිපිය සඳහා වැදගත් වෙන්නේ කිහිපයයි. ප්‍රධාන වශයෙන් ගත්තම පරමාණු එහෙමත් නැත්තම් අණු වල පිහිටීම අපිට තොරතුරු වලදී ගොඩක් වැදගත් දෙයක්. නිදසුනක් විදියට ගත්තොත් කාබන් වල විවිධ රූප මේ පිලිබඳ පැහැදිලි අදහසක් දෙනවා. කාබන් පරමාණු එක විදියකට පිහිටීමින් ගල් අඟුරු කියන ද්‍රව්‍යය හදනවා. ඒ කාබන් පරමාණු ම තවත් විදියකට පිහිටිලා දියමන්ති හදනවා. ඒ දෙකේ වෙනස තියෙන්නේ ඒවගේ තොරතුරු වලයි. මුලික තැනුම් ඒකකයේ නෙමෙයි. ඒ වගේම තමයි කෙසෙල් ගෙඩියක අණු වල පිහිටීම වෙනස් කරලා ලේනෙක් හදාගන්න පුළුවන්.  එකම අණු , පරමාණු එකතු වෙලා තමයි මේ විශ්වය හැදිලා තියෙන්නේ. ඒවායේ වෙනස් වෙලා තියෙන්නේ පිහිටීම් තොරතුරුයි. තොරතුරු නැත්තම් විශ්වයේ තිබෙනේ සියලුම දේවල් එකම ජාතියක් වෙනවා. එතකොට මේ හැම දෙයක්ම එකම වගේ වෙනවා. මිනිස්සුන්ගෙයි ගස් ගල් වලයි වෙනසක් නැති වෙනවා. ශක්ති සංස්ථිතිය , ගම්‍යතා සංස්ථිතිය වගේම ක්වොන්ටම් විද්‍යාවට අනුව විශ්වීය තොරතුරු වලත් සංස්ථිතිය තියෙනවා. තොරතුරු මැවීමට හෝ විනාස කිරීමට හැකියාවක් නෑ. එක් තොරතුරක් තව තොරතුරක් බවට පරිවර්තනය කරන්න විතරයි පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් කොලයක් පුච්චලා අළු අරගෙන අපිට ඒ අළු වලින් කොලය ආපහු හදන්න බෑ. එත් කොලයේ අළුයි වාතයයි අරගෙන ඒවා වල ඔක්කොම තොරතුරු හොයාගන්න පුළුවන් උපකරණයක් හැදුවනම් කොලය ගැනයි එකේ ලක්ෂණ ගැනයි විතරක් නෙමෙයි ඒ කොලෙන් මුළු විශ්වයම ගැන   හොයාගන්න පුළුවන්. එත් අපිට තාමත් එච්චර දියුණු තාක්ෂණයක් ඇවිත් නෑ. කවදාහරි දවසක විශ්වයේ තියෙන හැම අන්ශුවක් ම, පදාර්තයක් ම, තරංගයක් ම, විකිරණයක් ම  මැනගන්න විදියක් හොයාගත්තනම් එදාට මහා පිපුරුමේ සිට වර්තමානයටත්, වර්තමානයේ සිට අනාගතයටත් සියලු ම තොරතුරු කියන්න පුළුවන් වෙනවා. එත් තාම මේක කල්පිතයක් විතරයි.
එකිනෙකට වෙනස් දේවල් හඳුනාගන්න අපිට උදව් වෙන්නේ මේ තොරතුරු. එත් කළු කුහරයක් තුළ සිද්ධවෙන්නේ මීට හාත්පසින්ම වෙනස් දෙයක්. මේකට හොඳම නිදසුන තමයි මිශ්‍ර පලතුරු බීම එකක්. එක එක ජාතියේ පලතුරු ඔක්කොම ඒකට දාලා ඇඹරුම් යන්ත්‍රයකින් අඹරලා ගත්තම අපිට කියන්න බෑනේ මොන පලතුරේ යුෂ ද මේ තියෙන්නේ කියල. ඉතින් ඒ වගේම කළු කුහරයක් ඇතුලේ තියෙන්නේ මොනවගෙන් ආපු අංශු ද  කියලා හොයාගන්න බෑ. මොකද ඒවා හඳුනාගන්න තිබුණු තොරතුරු එකක්වත් නැති නිසා. විශ්වයේ තියෙන එක එක දේවල් කළු කුහරයන් විසින් ඇතුලට අරගෙන ඒවගේ තොරතුරු විනාස කරලා දානවා. ඉතින් ඒක නිසා අපිට හරියට අඳුරගන්න බෑ. කළු කුහරය්න්ගේ මේ ලක්ෂණය නිසා තොරතුරු ආරක්ෂන්යේදී ද්වෛදයක්  එහෙමත් නැත්තම් තේරුම් ගැනීමට අපහසු කාරණයක් නිර්මාණය කරනවා.

තොරතුරු ද්වෛදය

සියලුම විද්‍යාවන් වල ඇති න්‍යායන්ට වලංගු එක නීතියක් තියෙනවා. ඒ තමයි තොරතුරු වල සංස්ථිතික බව. ඒ බැවින් විශ්වය තුල තිබෙන සියලුම දේවල් සාපේක්ෂ වන අතර අපිට නිවැරදි අවබෝධයක් ලබා ගැනීමටනම් නිරපේක්ෂ අධ්‍යයනයකට යා යුතුයි. මෙම ගැටලුව විසඳා ගැනීමට ආකාර තුනක් ඇති බව නූතන විද්‍යාඥයින්ගේ මතයයි. ඉන් පළමු වැන්න තොරතුරු නැති වී ඇති බව අවබෝධ කරගැනීමයි. එනම් අවරුදු මිලියන 2.5ක් වයසැති මිනිසාගේ ගමනේ එක තැනකදී අපිට සුළු වැරදීමක් සිදු වී ඇති බවයි. එම වැරදි මාර්ගය ඔස්සේ පරම්පරා ගණනාවක් ඉදිරියට ඇවිත් වර්තමානය වන විට විශ්වය පිලිබඳ වැරදි අදහසක් අපට ඇති බවයි. මෙය විසඳා ගැනීමටනම් අප කළ යුත්තේ  නැවතත් සියල්ල පටන් ගත් ස්ථානයට ගොස් දැනට නිර්මානය කර තිබෙන සියලුම න්‍යායන් , නියමයන් අමතක කොට අලුතෙන් ම විශ්වය පිලිබඳ අධ්‍යනය කිරීමට පටන් ගැනීමයි. මෙය ඉතා අපහසු කාර්යයක්, පුරා වසර දහස් ගණනාවක් මහන්සි වී සිදු කල සොයාගැනීම් එක වර විසි කිරීමට කැමති කවුරුන්ද. එබැවින් මෙම කාරණය මදක් පසකට තල්ලු කල යුතු වේ. දෙවැන්නනම් තොරතුරු සැඟවී ඇති බව. කළු කුහරයක් යනු තවත් විශ්වයක්නම් එය අපගේ විශ්වයේ ඇති තොරතුරු අරගෙන අලුත් විශ්වයක් සාදා ගනී. එයට ඇතුල් වීමට ඇති නොහැකියාව නිසා අපිට කවදාවත් ඒ විශ්වය ගැන තොරතුරු සොයාගැනීමට නොහැකි වේ. එබැවින් එම තොරතුරු සදාකාලිකව ම අපෙන් සැඟවී පවතියි. තුන් වැන්නනම් අපෙන් ලබාගත් තොරතුරු කළු කුහරය තුල ගබඩා කර ඇති යන්නයි. නමුත් එය ඇත්තේ අපට කියවීමට අපහසු කේත ක්‍රමයකට විය හැකියි. එබැවින් අප කල යුත්තේ ඒ කේත ක්‍රමය සොයා ගැනීමයි. නුතන විද්‍යාඥයින් පවසන නව මතයක් ඇත. එනම් කළු කුහරයක සීමා ක්ෂිතිජයේ අපේ ත්‍රිමාන විශ්වයේ තොරතුරු ද්වී මාන ආකාරයට රඳවාගෙන ඇති බවයි. මෙය විශ්වීය හොලොග්‍රෑම් තාක්ෂණයක් ලෙස හඳුන්වයි.
කළු කුහර පිලිබඳ තොරතුරු ආරක්ෂණය මුලධර්මය ඇසුරෙන් මෙසේ සඳහන් කරන්න ප්‍රධාන හේතුව වුයේ හොව්කින්ස් විසින් රචනා කල තොරතුරු ආරක්ෂණය සහ කලුකුහර වල කාලගුණික තත්වය යන ලිපියයි. එමඟින් සීමා ක්ෂිතිජයක් නොමැති බවත් දෘශ්‍ය ක්ෂිතිජයක් ඇති බවත් හොව්කින් පෙන්වා දී ඇත. එහි සඳහන් කරුණු තේරුම් ගැනීම පාසල් ශිෂ්‍යන්ට හා උපාධි අපේක්ෂකයන්ට තරමක් අපහසු බැවින් මා විසින් න්‍යායානුකූල කරුණු වලින් බැහැරව සාමාන්‍ය උදාහරණ වලින් මෙම කරුණු ඉදිරිපත් කර ඇත. මෙහි භාෂාව සිංහල භාෂාවේ ව්‍යාකරණ අනුගමනය නොකරමින් ලියන්නට හේතුව වුයේද මෙහි ඇති සංකීරණ බව ම ය.විශ්වය සැමදා එක ලෙසම පවතී. එහෙත් අප එය පිළිබඳව දකින ආකාරය කාලයෙන් කාලයට වෙනස් කරයි. එබැවින් අද මා සඳහන් කල දේවල් අනාගතයේදී වෙනස් වීමට පුළුවන් අතර එහෙත් ඒ වෙනස් වීම් වලට අද තිබෙන මේ න්‍යායන් මනා පිටුවහලක් වනු ඇති බව අනාගතය ඔප්පු කර පෙන්වන බව මාගේ මතයයි.