Friday, September 15, 2017

ආදරණිය කැසිනි

සෞරග්‍රහමන්ඩලයේ සැඟවුණු තොරතුරු රැසක් ගවේෂණය කිරීමට සමත් වූ නාසා ආයතනයේ කැසිනි අභ්‍යවකාශ යානය අද ඔහුගේ අවුරුදු 13ක සෙනසුරු වටා සංචාරය නිම කරමින් සෙනසුරු ග්‍රහයාගේ වායුගෝලය තුලට කඩා වැටුණි. “මෙය අතිශය පුදුම සහගත ක්‍රියාන්විතයක අවසාන පරිච්ඡේදයක් වුවත් එක්තරා ආකාරයකට නව ගමනක ආරම්භයකි” යනුවෙන් නාසා ආයතනය ප්‍රකාශයක් ඉදිරිපත් කොට ඇත. කැසිනි යානය මඟින් ටයිටන් සහ එන්සේලඩස් නම් උපග්‍රහයින්ගේ සාගරයන් ගැන දත්ත ලබා දිම මඟින් මිනිසාගේ පෘථිවියෙන් පිටත ජීවයක් ගැන තිබූ අදහස වෙනස් කිරීමට සමත් විය.කැසිනි යානය සෙනසුරු ග්‍රහයාගේ වායුගෝලයට පිවිසේනවත් සමඟම එහි වායුගෝලය සහ යානය අතර ඇති වූ තෙරපුම් බල නිසා යානය ගිනි ගැනීමට පටන් ගන්නා ලදී. මෙහිදී අවසන් වරට කැසිනි යානය මඟින් සිය නිරීක්ෂණ මෙම අවස්ථාවේදී පෘථිවියට එවන ලදී. ඕස්ට්‍රේලියාවේ කැන්බරාහි පිහිටා ඇති නාසා ආයතනයේ ගැඹුරු අහස පිලිබඳ ඇන්ටනා වලින් මෙම දත්ත ප්‍රතිග්‍රහණය කර ඇත. අවසන් දත්ත ප්‍රතිග්‍රහණය කරගත් වෙලාව ලෙස පෙ.ව. 4.55 (PDT) ලෙස සටහන් වී ඇත. “අනාගත පරපුරට නව කෝණයකින් සෙනසුරු ග්‍රහයා හා සෞරග්‍රහ මණ්ඩලය දෙස බැලීමට අඩිතාලම දැමු අතිශය සාර්ථක ක්‍රියාන්විතයක් අවසන් කිරීම ඉතා නීරස කරුණක් උවත් එමඟින් ලබාගත් තොරතුරු අනාගතයේ කරන්නට නියමිත පරීක්ෂණ වලට යොදාගැනීමට හැකි වීම ගැන සතුටු වෙනවා” යයි නාසා JPLහි අධ්‍යක්ෂක මයිකල් වැට්කින්ස් පවසා ඇත. කැසිනි යානයේ සවි කල උපකරණ අට ම මඟින් සැලසුම් කල ආකාරයටම දත්ත ලබා දීමට සමත් විය. මෙම ක්‍රියාන්විතය මෙහෙයවූ විද්‍යාඥයින් ඉදිරි සති දෙක තුල කැසිනි යානය එවූ අවසන් දත්ත විශ්ලේෂණය කිරීමට නියමිත අතර එම විශ්ලේෂණයන් අතර ග්‍රහලෝකවල උත්පත්තිය සහ පරිණාමය පිලිබඳ තොරතුරුද ඇත. 1997 වසරේදී ෆ්ලොරීඩාහිදී දියත් කල මෙම යානය 2004 වසරේදී සෙනසුරු ග්‍රහයා ආසන්නයට පැමිණෙන ලදී. නාසා ආයතනය මඟින් මෙම යානයේ ක්‍රියාන්විතය අවස්තා දෙකකදී දිගු කර ඇත. ප්‍රථම අවස්ථාවේ වසර දෙකක් සහ පසුව වසර හතක් වශයෙන් එම අවස්ථා සඳහන් කල හැක. දෙවන වර දිගුවේදී  සිදුකල මෙහෙයුම් මඟින් සෙනසුරු ග්‍රහයාගේ වළලු, අයිස් මිදුණු උපග්‍රහයින් , එහි චුම්බක ක්ෂේස්ත්‍රය ආදී කරුණු රැසක් පිලිබඳ තොරතුරු අනාවරණය කිරීමට සමත් විය. එපමණක් නොව උපග්‍රහයින්ගේ සාගර, මතුපිට ස්වභාවයන් ආදී වැදගත් කරුණු රැසක් හෙළිකිරීමට සමත් විය. කැසිනි යානය විනාශ වී ගියද එය මඟින් ලබා දුන් දත්ත මඟින් කල හැකි පරීක්ෂණ තවත් දශක ගණනාවක් ගත වුවද නිම නොවන බව විද්‍යාඥයින්ගේ මතයයි.



video credit is going to nat Geo team 

No comments:

Post a Comment